"ඇයට දුම් කෝච්චියෙන් නුවරට යෑමේ ආසාවක් තිබුණි. අන්තිම වරට දළදා හාමුදුරුවන් වැඳගෙන සිව් මහා දේවාලයට ගොස් පඬුල්ලාගෙන වැව දෙස බලා සිටීමට ආසාවක් ඇතිවිණ. එහෙත් ඇය සිය ආසාව මළිඳාට නොදැන්වූවාය. කෝච්චියෙන් නුවරට යාමට කාසි කොහින්ද? මළිඳාට කීවේ නම් ඔහු කෙසේ හෝ කාසි කීපයක් සොයා ගනු ඇතැයි ඇයට සිතුණද ඇය ඒ බව මළිඳාට නොකීවාය. දළදා හාමුදුරුවන් වැඳ ගැනීමට සුපුරුදු පරිදි පයින් යා හැකි වුවද අද තමනට එතරම් දුරක් යා ගත නොහැකි බව ඇයට වැටහිණි. ඇය ගමේ පන්සලට කිරි ආහාර පාත්තරයක් පූජා කළ දිනයක් මතක නැත. තමනට ආහාර කෙසේ වෙතත් වී හාල් ටිකක් තිබුණි නම් ඇය කිරි ආහාර පාත්තරයක් පූජා කළාය. ගොඩමඩිත්ත පසුකොට කන්ද මුදුනට ගොස් දේවාලේ ගම්මැද්දේ පිහිටි පත්තිනි දේවාලයට ගොස් වී ඔරුවට වී ටිකක් පූජා කළේද බොහෝ කාලයකට පෙරය.
ඔපලි වත්තේගම කඩමණ්ඩියේ අගුපිල්වල රැඳී සිටීමට අකමැති වූවාය. ඇයට යාචකයන් සේ අහිකුණ්ඨිකයන් සේ ජීවත් වීමට අවශ්ය නොවීය. කඩමණ්ඩියේ කරත්ත නවතා තිබූ බඩු ගබඩාවවල පුරවා තිබුණේ රටින් ගෙනා පිටි ගෝනිය. මේවා තේ වතුවලට ගෙනයන සුදු පාට පිටිය. දැන් දැන් ගම්වල ඇති තේ කඩවලටද සුදු පිටි ගෙනයනු ලැබේ. කුරහන් රොටි වෙනුවට සුදු පිටියෙන් තැනූ රොටි ගම්වලද ජනප්රිය වී තිබේ. මළිඳා කරත්තවලට ගෝනි පටවා කාසියක් දෙකක් ලබා ගත්තද, කරත්තවලට බඩු පැටවීමට පුරුදුව සිටි කඩමණ්ඩියේ මැරයෝද, පාතරටින් පැමිණ සිටි කොල්ලෝද ඔහුට ඒ සඳහා ඉඩකඩ ඇහිරූහ."
*****