• Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා

උපාධි බම්බුව
වසර ගණනාවක් විදෙස් රටක රැකියාව කළ මා එකී කොන්ත්‍රාත්තුව අවසානයේ ආපසු ලංකාවට පැමිණ වැඩි දවසක් ගත වුණේ නැහැ. දීර්ඝ කාලීන සරසවි මිතුරෙක් මට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් එවා මගේ දුරකථන අංකය විමසා තිබුණා. මං හැරෙන තැපෑලෙන් ඒ තොරතුරු යැව්වා. පසුදාම මිතුරාගේ සොහොයුරා මට කතා කළා. ඔහු ලංකාවේ තිබෙන ඉහළම පෙළේ ඉදිකිරීම් ආයතනයක අයිතිකරුවා බව මා දැන සිටියා.
“ඔයා දැන් කොහෙ ද වැඩ කරන්නෙ ?”
“තවම නෑ. ලංකාවට ඇවිත් මාසයක්වත් නැහැනෙ..”
“ඔයා එහෙ වැඩ කළේ ලොකු ප්‍රොජෙක්ට් එකක නේද ?”
“ඔව්... කිලෝමීටර් එකහමාරාක් දිග මුහුදු ජැටියක් හදන ප්‍රොජෙක්ට් එකක.”
“එහෙනං ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නැති. මගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. පොළොන්නරුවෙ. ඒකට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ඕනෙ වෙලා තියෙනවා. මට ඕනෙ විශ්වාසවන්ත කෙනෙක්. මට අයිය තමයි ඔයාව යෝජනා කළේ.”
මා පොළොන්නරුව පැත්තේ ඉදිකිරීම් ව්‍යාපෘතියක කළමනාකරු ලෙස පත්වී ගියේ ඒ කතාබහෙන් අනතුරුවයි. මට වැඩි වශයෙන් කරන්නට සිදුවුණේ ඉදිකිරීම් සම්බන්ධ තාක්ෂණික කටයුතු නෙවෙයි. මා යටතේ සිටි ඉංජිනේරුවන් සිව්දෙනා ඒ වැඩකටයුතු හොඳින් ඉටු කළා. ඔවුන්ට වැඩ බෙදා දී ඒවා කළමනාකරණය කිරීමට අමතරව මට සිදු වූයේ ප්‍රදේශයේ දේශපාලකයින්, පූජ්‍ය පක්ෂය, පොලිසිය හා ව්‍යාපාරික ප්‍රජාව සමඟ හොඳ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යෑමටයි.
එය එතරම් ලේසි පහසු කටයුත්තක් වූයේ නැහැ.
“සර්... හාමුදුරුවො බැකෝ එකක් එවන්න කිව්වා. පන්සල් වත්තේ පස් පුරව ගන්න ඕනෙලු.”
“ඇමතිතුමාගෙ පෞද්ගලික ලේකම් සර්ට කෝල් එකක් ගන්න කිව්වා. කටවුට් වගයක් ගහන්න උදවු ඕනෙලු.”
“සර්... ඕඅයිසීටයි, අයිපීටයි පාටියක් දුන්නොත් නරක ද ? පොඩි පොඩි ලෙඩ දානව.”
“අර වැලි ගල් කොන්ත්‍රාත් කරන කොම්පැනිය මහ ඇමතිගෙ මල්ලිගෙ. එයා අඩු ගාණට සප්ලයි කරන අයට ලෙඩ දානව.”
මේ යනාදී වශයෙන් යෙදෙන්නට සිදු වූ අමාරු රාජකාරි මා වෙහෙසට පත් කළා.
“අපි ඔය පැත්තෙ පොඩි පොඩි සමාජ සත්කාර කටයුතු කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපි ගැන හොඳ ප්‍රතිරූපයක් ඇතිවෙන්නෙ.”
සමාගමේ අයිතිකරු මට යෝජනා කළා.
“ඇමතිතුමාගෙ ලේකම් මට කතා කළා. ඇමතිතුමා මුලින්ම ගිය ඉස්කෝලෙට හරිහමන් බුදුමැදුරක් නෑ කියලා අපට අලුත් එකක් හදල දෙන්න බැරි ද ඇහුවා.”
“අන්න වැඩ. අපි ඒක බාරගනිමු. ඕකට ඒ තරම් වියදමක් යන්නෙ නෑ. ඒත් ඒකෙන් ඇමතිව ෂේප් කරගන්න හොඳ චාන්ස් එකක් ලැබෙනවා.”
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඈත ඉමක වූ පාසලකට බුදු මැදුරක් තනාදීමේ වගකීම අපගේ සමාගම බාරගත්තේ ඒ ආකාරයටයි. බුදු මැදුර විවෘත කිරීමේ උත්සවය මහත් උත්කර්ෂයෙන් යුතුව සිදු කළ යුතු බව ඇමතිවරයාගේ අදහස වුණා. මේ පිළිබඳ කථිකා කර ගැනීම සඳහා සාකච්ඡා වාර කිහිපයකටම මගේ සහායක ඉංජිනේරුවෙකු යැව්වේ අපගේ ආයතනයේ නියෝජිතයෙකුගේ සහභාගිත්වය අවශ්‍ය බවට වූ ඇමතිවරයාගේ දැඩි උවමනාව මතයි.
“පී.එම්. මහත්තය මේකනේ වැඩේ. දැන් ඔය බුදුමැදුර හදන්න සම්පූර්ණ වියදම් දැරුවෙ ඔබතුමාලගෙ කොම්පැනියනේ. ඉතිං විවෘත කිරීමේ උත්සවේත් ඒ විදිහටම කෙරෙනවට ඇමතිතුමා කැමතියි කියන්න කිව්වා.”
ලේකම්වරයා හීන්සීරුවේ බෝලය බස්සන බව මට පැහැදිලි වුණා. බැඳගත්ත බෙරේ ගහනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් අපට තිබුණේ නෑ. බුදුමැදුර විවෘත කිරීමේ උත්සවය ගාම්භීර ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරුණා. ඇමතිවරයා පිළිගැනීමේ තොරණ සෑදීමේ සිට ආරාධිතයින් සිය දෙනෙකුට සංග්‍රහ කිරීම ඇතුළු සියලු වියදම් අපගේ සමාගම දැරුවා. සමාගමේ අයිතිකරු නොහොත් එම්.ඩී. මහත්තයාටත් උත්සවයේ කතාවක් වෙන් කළ බව අවසන් සාකච්ඡා වාරයට සහභාගි වූ ඉංජිනේරුවා පවසා සිටියා.
මා ඒ බව සමාගමේ අයිතකරුට පැවසුවේ ඔහුගේ පැමිණීම ඇමතිවරයා ඉහළින්ම බලාපොරොත්තු වන බව සඳහන් කරමිනුයි.
“මන බොරු ද මෙයා... ඕකුන්ට ඕනේ වැඩේ කරගෙන ලකුණු දාගන්න. නිකං අපිව ෂේප් කරගන්න තමයි ඔය කතාවක් දීලා තියෙන්නෙ. මං ඔය උත්සවවල කතා කරන්න දක්ෂයෙක් නෙමෙයිනෙ. දැන්ම කියන්නෙපා. එදා උදේට කියන්න මට එන්න ලැබෙන්නෙ නෑ කියලා. ඔයා කතාවක් කරන්න.”
ඔහුගේ ඉල්ලීම ඉටුකරනු හැර වෙනත් විකල්පයක් මා ඉදිරියේ තිබුණේ නැහැ. මා කතා පැවැත්වීමට දක්ෂයකු බව කවුරුත් පාහේ දැන සිටියා. මට ඒ පන්නරය ලැබුණේ සරසවියේ ඉගෙන ගත් කාලයේ දී. ඉංජිනේරු උපාධියට ඉගෙන ගත්තත් මා බොහෝ අමතර කටයුතුවලට සහභාගි වුණා පමණක් නොවේ ඒවාට මූලික වුණා.
සරසවියේ විවිධ ශිෂ්‍ය සංගම්වල නිලතල දරන්නට මට සිදු වුණේ බොහෝ දෙනාගේ ඉල්ලීම් පිටයි. ඒ සමඟම ශිෂ්‍ය දේශපාලනයටත් මා යොමු වුණා. පීඨ ශිෂ්‍ය සංගමයේ සිට මහා ශිෂ්‍ය සංගමය දක්වා දේශපාලන සංගම් වල ක්‍රියාධරයෙකු මෙන්ම නිලතල දරන්නෙකු ලෙස ද මා පත්වුණා. අත්තනෝමතික සරසවි පාලනයට එරෙහිව සාධාරණය වෙනුවෙන් දියත් කළ සටන්වල දී මා පෙරමුණ ගත්තා. ඒ නිසා සිසුන් අතර පමණක් නොව ආචාර්ය මණ්ඩලයත් මා පිළිබඳ දැන සිටියා.
පච ගහ යට පැවැත්වූ සමහර රැස්වීම්වල දී සිදු කළ මගේ කතා අහන්නටම සිසු සිසුවියන් පැමිණෙන බව දැනගත් මා අමන්දානන්දයට පත්වී තව තවත් දේශපාලන වැඩකටයුතුවල දී මූලිකත්වය ගත්තා. ඒ සමඟම ඉංජිනේරු පීඨයෙන් පිටත විද්‍යා හා කලා පීඨවල සිසු සිසුවියන් දැන හඳුනාගැනීමටද මට අවස්ථාව සැලසුණා.
ඒ සමඟම මට අධ්‍යයන කටයුතු මගහැරුණා. සරසවියෙන් පිට වන විට මා විෂයයන් විශාල ප්‍රමාණයක් අසමත්ව පුනර් පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටියා.
සරසවියේ දී දේශපාලනයේ යෙදෙන ක්‍රියාකාරීන්ට සාමාන්‍යයෙන් සිදුවන අබග්ගයක් තමයි උපාධිය අහිමිවීම.
නැවත නැවත පුනර් පරීක්ෂණවලට මුහුණදීමෙන් විඩාවට පත් වූ මා ඉංජිනේරු උපාධිය ලබාගැනීමේ සිහිනය අතහැර දැමුවා. ඒත් ඉංජිනේරුවකු ලෙස ස්ථාපිත වීමට එය බාධාවක් වුණේ නැහැ. එය සිදුවූයේ මේ ආකාරයටයි.
අවසන් වසර විභාගයට මුහුණ දීමෙන් අනතුරුව මා කොරිඩෝරයේ ඇවිද යද්දී මහාචාර්ය සිරිතුංග මට මුණගැසුණා. ඔහු ශිෂ්‍යයන් සමඟ බොහෝ සමීපව කටයුතු කළ මහාචාර්යවරයෙක්.
“දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නෙ. රිපීට් සබ්ජෙක්ට් වගයකුත් තියෙනව නේද?”
“ඔව් සර්... ඒවා ලබන අවුරුද්දෙ ලියන්නෝනැ.?
“තමුසෙ ඉතිං ඉගෙන ගන්නව ඇර අනෙක් හැමදේම කළානේ. දැන්වත් ගොඩයන්න බලනව. මං කියන්නද, ගෙලිඔය තියෙනවා මගේ කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි එකක්. හෙට ඉඳන් ඒකෙ වැඩට එනව. ඒ අතරෙ විභාගයත් කරගන්න බැරිවයැ. කොළඹ පැත්තේ රස්සාවකට ගියොත් තමුසෙට ඒක මග ඇරෙනවා.”
ගමේ පාසලකින් සරසවියට පැමිණ බොහෝ දුෂ්කරතා මැද උගෙන ගත් මහාචාර්යවරයා ආධුනික ඉංජිනේරුවන්ට අත හිත දුන්නේ අවංක හැඟීමෙන්. ඒ වගේම එය ආර්ථික වශයෙනුත් ඔහුට වාසිදායී වෙන්නට ඇති. ඔහුගේ ඉදිකිරීම් සමාගමේ වසරක් රැකියාව කළ මා ඊළඟ වසරේ විභාගවලට මුහුණ දුන්නත් ඒවායින් බොහොමයක් අසමත් වුණා.
ඒ සමඟම වෙනත් ඉහළ වැටුප් ලැබෙන වෙනත් රැකියාවලට මා ඉල්ලුම් පත් යැව්වා. දිවයිනේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමකට ආධුනික ඉංජිනේරුවන් අවශ්‍ය බවට වූ පුවත්පත් දැන්වීමකට අනුව මා ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. එහි සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට කොළඹ ගිය මා ඊට පෙර දින රාත්‍රියේ නැවතුණේ මගේ වසරේ ඉගෙන ගෙන උපාධිය සම්පූර්ණ කළ මිතුරකුගේ කාමරයේයි.
“උපාධි සහතිකේ ඉල්ලයි ද දන්නෙ නෑ...” මා තුළ හටගත් විචිකිච්ඡාව මා මිතුරාට පැවසුවා.
“මං උඹට පොඩි ක්‍රමයක් කියන්නං. කැම්පස් එකේ උඹ දාපු සෙල්ලංවල හැටියට මේක අවුලක් වෙන්නෙ නෑ....”
ඔහු පැවසුවෙ තමන්ගේ උපාධි සහතිකය රැගෙන මට සම්මුඛ පරීක්ෂණයට යන ලෙසයි.
“මේකනෙ බං. ඔය සහතිකේ දාලා දුන්නෙ බම්බුවකනෙ. උඹ මගේ බම්බුව අරං පලයං, මගේ ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එක තමයි ඔය බම්බුව දැක්කම ඇතුළෙ තියෙන සහතිකේඉල්ලන්නෙ එහෙමත් කලාතුරකින්.”
ඔහු කී ලෙසම මා රංගනයේ යෙදුණා.
සම්මුඛ පරීක්ෂණයට හිඳගත් මා සහතික ෆයිල් කවරය සමඟ බම්බුව මේසය මතින් තැබුවා. සහතිකයේ ආරක්ෂාවට එය ඝනැති කඩදාසි බම්බුවක දමා තමයි උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු සහතිකය ලබා දී තිබුණේ.
මිතුරා පැවසූ පරිදිම මගේ පළපුරුද්ද හා උපාධිය ගැන වාචිකව විමසූ පරීක්ෂක මණ්ඩලය සහතිකය පෙන්වන ලෙස ඉල්ලා සිටියේ නෑ. මොනවා ඉල්ලන්න ද... ඔය බම්බුව තිබුණෙ බැබළි බැබළි.
මාව ඒ සමාගමේ රැකියාවට බඳවා ගත්තා. ඒ සමඟම මට උපාධි සහතිකය ලබාගැනීමේ උනන්දුව හීන වී ගියේ වසරින් වසර ඉහළ තනතුරු හා වගකීම් ලැබීමත් සමඟයි. ව්‍යාපෘති ඉංජිනේරුවෙකු ලෙස වසර කිහිපයක පළපුරුද්ද ලැබීමෙන් අනතුරුව වෙනත් සමාගමක රැකියාවට යද්දී සහතික විමසා බැලීමක් කොහෙත්ම සිදුවුණේ නෑ. කොහොමත් ඒ වනවිට මට උපාධි සහතිකයක් ලැබී තිබුණා. එය සකසා දුන් මගේ මිතුරකු කීවේ සරසවියෙන් විමසීමක් කරාවි යැයි ස්ථිර වශයෙන්ම නොසිතන ආයතනවලට පමණක් සහතිකය ඉදිරිපත් කරන ලෙසයි.
මා විදේශ රැකියාවට යොමු කළේ ඒ ව්‍යාජ සහතිකයයි. ඊට උදව් කළේ එහි රැකියාව කළ මගේ සරසවි මිතුරෙක්.
“පිස්සු ද මචං... මේ අරාබියො ඕව චෙක් කරන්නේ නෑ... මෙහෙ වැඩ කරන ගොඩක් ඉන්දියන් කාරයන්ට තියෙන්නෙ හොර සහතික තමයි. සහතිකේ වැඩක් නෑ... වැඩයි ඕනෙ...උඹ දැන් අවුරුදු ගාණක් කට්ට කාල ගත්තු එක්ස්පීරියන්ස් එක හොඳටම ඇති මෙහෙ ගොඩදාගන්න.”
මා පාසලේ බුදුමැදුර විවෘත කිරීමේ උත්සවයේ දී කතා කළ යුත්තේ කුමක් පිළිබඳවදැයි පෙර දින රාත්‍රියේ කල්පනා කරද්දී මගේ පළමු රැකියාවේ දී ලද අත්දැකීමක් හදිසියේ සිහියට ආවා. විවිධ විෂයය ධාරාවන්ට යටත්ව අධ්‍යයනය ලැබීමෙන් පසු කොතරම් අසමාන ලෙස සලකන්නේ ද යන්නට උදාහරණයක් ලෙස ඒ කතාව කිවයුතු යැයි මා කල්පනා කළා. ඒ සරසවියේ සිටි දේශපාලන සත්ත්වයා මොහොතකට අවදි වීමක් වෙන්න ඇති.
සියලුදෙනාගේ අවසර ගෙන මා කතාව ආරම්භ කළා. මේ දරුවන්ට මං මගේ අත්දැකීමක් කියන්නම්. මේ
කතාවෙන් කිසියම් ආදර්ශයක් ගන්න පුළුවන් ද කියලා මං හරියටම දන්නේ නෑ. ඒත් ඊයේ රෑ මං කල්පනා කරද්දී අද මොනවද කතා කරන්නෙ කියලා මට හිතුණේ මේ කතාව කියන්න ඕනෙ කියලා...
මගේ මුල්ම රස්සාව, ආධුනික ඉංජිනේරුවෙක් විදිහට කළේ කුඩා පෞද්ගලික කොම්පැනියක. මාත් ඔයගොල්ලො වගේම කොළඹින් ඈත දුෂ්කර ප්‍රදේශයක ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක්.
මාව හදිසියෙම එතන රස්සාවට ගත්තේ ලොකු ඉදිකිරීම් වැඩක් පටන් ගන්න තිබුණ නිසා. ඒක විශාල කර්මාන්තශාලා ගොඩනැගිල්ලක්. වැඩි වශයෙන් නිර්මාණය කරන්න නියමිත වුණේ යකඩින්.
ඉතිං ඔය යකඩ කාප්ප විශාල ප්‍රමාණයක් හදන්න නියමිත වුණා (කාප්ප යනු කුමක් දැයි මම දරුවන්ට පැහැදිලි කළා) ඒවා හරි මිම්මට කපල, වෑල්ඩිං කරලා පුරුද්දලා, මළකඩ නොකන තීන්ත ගාන එක අධීක්ෂණය කරන එක තමයි මගේ රස්සාව වුණේ.
කපන කොටන දේ නූලට සිද්ධ වෙන්න ඕනෙ. වෑල්ඩිං හරියට තියන්න ඕනෙ ශක්තිය ඇතිවෙන්න. නැත්තං කාප්ප ඇද ගහනව. වහලෙ සවි කරන්න බැරි වෙනව. ඔයාලා දැකලා ඇතිනෙ. කපන මැෂින්වලින් යකඩ නූලට
මිම්මට කපනව. ඒව ඇද නොගහන්න වෑල්ඩිං කරනව. ඊට පස්සේ යකඩ කෙඳි තියෙන බුෂ්වලින් වෑල්ඩිං බොර කඩල, මලකඩ යන්න පොලිෂ් කරලයි තීන්ත ගාන්නෙ.
මේ බොර කඩන වැඩෙයි, මළකඩ සූරලා පොලිෂ් කරන වැඩෙයි තමා අමාරු. මොකද ලොකු ඩස්ට් එකක් පිටවෙනව. ඒවා ඇඟට නහයට යනව. ඒ වැඩේ කරන කෙනාගේ ඇඳුම් දුඹුරු පාටින් නෑවෙනවා. ඇඳුම් විතරක් නෙවේ... මූණු අතපය පවා.
මගේ යටතේ වැඩ කරන තරුණයෙක් උන්න. මගේ වයසෙම වගේ. ඔහු තමයි මේ මළකඩ සූරන වැඩේ කළේ.
ජැන්ඩි පහට ඇඳලා බස් එකේ වැඩට එන්නේ. අත් දිගට දාලා. සපත්තු පොලිෂ් කරලා. ආව ගමන් වැඩ කරන ඇඳුමට බනිනවා. ඒ ඇඳුම දුඹුරු පාටයි. එහෙම ඇඳුම් ජෝඩු දෙකක් තිබුණා. හැමදාම හවසට නාලා එහෙම එදා ඇන්ද ඇඳුම හෝදලා වේළෙන්න දාලා යන්නෙ. පහුවදා උදේ වෙද්දි කලිසම වේළිලා නැති හංදා අනෙක අඳිනවා. හම්පඩ ගැහිච්චි සපත්තු දෙකක් දාගන්නවා. මෙච්චර විස්තර කිව්වේ ඒ හැම දෙයක්ම මං නිරීක්ෂණය කළ බව කියන්නයි.
ඔහු මාව ඇමතුවේ සර් කියලා. මට විතරක් නොවේ, වැඩපොළේ අනෙක් හැමෝම වගේ ඒ කියන්නෙ තේ හදන, පිරිසිදු කරන දෙන්නෙක් හැරුණාම අනෙක් හැමෝම කළේ තමන්ට වඩා ඉහළ රැකියාවක් නිසා ඒ හැමදෙනාටම සර් කිව්ව. මහත්තය කිව්ව. බාස් උන්නැහේලට බොහොම ගරුසරු ඇතිව බාස් උන්නැහේ කිව්වා. කවුරුත් මේ හාදයට ආදරේ කළා.
මමත් ඉතිං ඉංජිනේරුවෙක් විදිහට කිසියම් ආධිපත්‍යයක් දරන්න පටන් ගත්තා. ප්‍රධාන ඉංජිනේරුවත් මට පළවෙනි දවසෙම උපදෙස් දුන්නේ කිසිකෙනකුට බුරුලක් දෙන්න එපා, තදින් ඉන්න. නැත්තං කට්ටිය ගෝණි නැතිව කරේ යනව කියලයි.
මේ දරුවො කල්පනා කරනව ඇති මොකක් ද මේ අමුතු කතාව. ඕව අපි අහල දැකලා තියෙන දේ කියලා. නෑ... අන්න එතෙන්ටයි මට එන්න ඕනෙ වුණේ. මං මාස් පඩියක් ගද්දි, හදිසියකට නිවාඩු ගන්නත්, පුළුවන්කම තියෙද්දි මේ තරුණය වැඩ කළේ දවස් කුලියට. වැඩට නාවොත් පඩි නෑ. ගත්තෙත් මගේ පඩියෙන් බාගයකි විතර.
ටික දවසක් යද්දි මේ තරුණයා මට බොහොම හිතවත් වුණා. බිම බලාගෙන වැඩ කරපු මේ හාදය මං ළඟට ආව ගමන් සීරුවෙන් හිටගත්තා.
“සර්... මට හෙට නිවාඩුවක් දෙන්න පුළුවන් ද ?”
“ඔයා හැමදාම වැඩට ආවනෙ. මෙතන වැඩ තියෙනවා තමයි. ඒත් හදිසි උවමනාවකට නං කොහොමද බෑ කියන්නෙ. මොකද හදිස්සියක් ද?”
“හදිසියක් කියන්නෙ. අම්ම ඔත්පල වෙලා ඉන්නෙ. හෙට ක්ලිනික් දවස. අම්මව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙ කෙනෙක් නෑ. මායි අම්මයි විතරනෙ ගෙදර ඉන්නෙ.”
මේ වගේ කාරණා දැනගත්තම මගේ හිතේ පුංචි අනුකම්පාවක් ඇතිවුණා.
“ඔන්න මේ මාසෙට වෙන නිවාඩු ගන්න බෑ. මේක හදිසි වැඩක්නේ.”
“නෑ... සර්... මේ මාසෙට වෙන එපා. ලබන මාසෙ නං දවසක් ඕනෙ.”
“ඒ මොකදත්‍ව මඟුලක් ද ?”
“නෑ... සර්... උපාධි ප්‍රදානෝත්සවයට.”
මාව ගල් ගැහුණා. දන්නවද දරුවනේ. ඒ කලා උපාධිධාරියෙක්.
“මාත් පේරාදෙනියේ තමයි ඩිග්‍රිය කළේ. මං සර්ව දැකලා තියෙනවා. රැස්වීම්වල කතා කරනවා. මං ආර්ට් ෆැකල්ටි එකේ.”
මට පොළොව පලාගෙන යන්න හිතුණා. මට සර් කියලා කතා කරන තරුණයා මගේ වයසෙම උපාධිධාරියෙක්. මං කිව්ව මට සර් කියන්න එපා කියලා.
“අම්මෝ සර්...මට මෙතන රස්සාව නැති කරන්නෙපා. සර් හොඳ කෙනෙක් බව දන්න නිසයි මං ඇත්ත කිව්වෙ. මෙතන කවුරුවත් දන්නෙ නෑ මං උපාධියක් කළ බව, ඒක කිව්ව නං මට මේ රස්සාව ලැබෙන්නෙත් නෑ.”
මට මේක දරාගන්න බැරිවුණා. පහවුදා උදේ කොම්පැනිය අයිති මහාචාර්යවරයා ආවම මං තනිවම මුණගැහුණා. මේ තරුණයා ගැන මං ඇත්ත කිව්වා.
“මං දන්නව නං රස්සාවට ගන්නෙ නෑ...”
“නෑ සර්... මං ඉල්ලීමක් කරන්නයි ආවෙ. අපි එයාව ස්ටෝරුවට ගනිමු. ස්ටෝරුවත් පිළිවෙළකට කෙරෙන්නෙ නෑ. බඩු හොරකම් සිද්ධ වෙනවා. මෙයා අවංකයි. සර්... මේක මගේ දැඩි ඉල්ලීමක්. මට එයාගෙන් මළකඩ වැඩ ගන්න බෑ. සර් ඒ චාන්ස් එක නොදුන්නොත් මං රස්සාවෙන් අයින් වෙනවා.”
මහාචාර්යතුමා ඒ ඉල්ලීම ඉටුකළා.
“තමුසෙ ඉතිං සමාජවාදියනෙ. හැබැයි මේ ඉල්ලීම සාධාරණයි. මටත් අදහගන්න බැරි වුණා. මේ හාදයා ඩිග්‍රිකාරයෙක් කිවුවම. මා ළඟට ඇවිත් පිංසෙණ්ඩු වෙලා රස්සාව ඉල්ල ගත්තෙ.”
මං දරුවන්ට මේ කතාව කිව්වම මුළු ශාලාවම අත්පොළසන් දුන්නා. මං කතාව අවසන් කළේ මේ අසාධාරණ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් මේ ඉදිරි පෙළ අසුන් අරන් ඉන්න ප්‍රධාන ආරාධිත ගරු ඇමතිතුමාලට තමයි කියලයි. ඇමතිතුමාගේ කතාවේදී මට ප්‍රශංසා කළා. එකක් අර තරුණයට උසස් වීමක් ලබා දෙන්න මගේ රැකියාව පරදුවට තියන්න තීරණය කළ එකට. අනෙක මේ ප්‍රශ්නය එතුමන්ගේ අවධානයට ලක්කළ එකට.
“කලා උපාධිධාරීන්ටත් විශ්වවිද්‍යාලයෙන් පිටවුණ ගමන් සුදුසු රැකියාවකට යන්න අවස්ථාව හදල දෙන්න ඕනෙ. මං මේ ගැන කැබිනට් එකේදී කතා කරනවා.”
ඇමතිවරයා ලකුණු දාගත්තා.
ස්තුති කතාව කළේ විදුහල්පතිතුමා. ටයි පටියක් පැළඳගෙන ගාම්භීර ලීලාවෙන් වේදිකාවට නඟින විදුහල්පතිතුමාව මං හරියටම දැක්කෙ ඒ මොහොතෙදි. මා ආවෙත් උත්සවය පටන් ගන්න ඔන්න මෙන්න කියල නිසාත් ඇමතිවරයා ඒ මොහොතෙම පැමිණි නිසාත් මට විදුහල්පතිතුමා එක්ක කතා බහ කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ.
ස්තුති කතාව පටන් ගත්ත විදුහල්පතිතුමාගෙ පෙනුමෙන් නොව ඉරියව්වලින් කිසියම් සමීප බවක් මට දැනුණා.
“ස්තුති කතාව ආරම්භ කරන්නට පළමුව මං ඉතාම නිහතමානීව එක් කරුණක් සිහිපත් කරන්න කැමතියි. අපට
බුදුමැඳුර නිමවා පරිත්‍යාග කළ ඉංජිනේරු ආයතනයේ ව්‍යාපෘති ඉංජිනේරුතුමාගේ කතාවේ සඳහන් කළ උපාධිධාරියා මමයි. එතුමන්ට මාව අඳුනගන්න බැරිව ඇති. මං ස්වරූපයෙන් වෙනස් වෙලා නිසා. එතුමන්වත් මං අඳුනගත්තේ නෑ. බාහිර ස්වරූපයෙන් වෙනස් වෙලා නිසා.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Villaravadiya - විල්ලරවාඩිය

Villaravadiya - විල්ලරවාඩිය

බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..

Rs. 475.00

Gathanayata Pera - ඝාතනයට පෙර

Gathanayata Pera - ඝාතනයට පෙර

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා බද්ධවී සිටි තරුණයකුගේ කෙටි කාලීන ජීවන පුරාවෘතය පාදක කොටගත්, සමාජ ද..

Rs. 350.00

Dhada Kandaura - දඩ කඳවුර

Dhada Kandaura - දඩ කඳවුර

හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර..

Rs. 550.00

Niruwath Jiivitha - නිරුවත් ජීවිත

Niruwath Jiivitha - නිරුවත් ජීවිත

සත්‍ය සිදුවීම් කිහිපයක වස්තු බීජයන් හා සමීපතම අත්දැකීම් මූලාශ්‍ර කර ගනිමින් රචිත වෙනස් මානයන් කරා දි..

Rs. 275.00

Kee Noki Katha - කී නොකී කතා

Kee Noki Katha - කී නොකී කතා

අහිමි ජීවිත“ අහිමි වූ හැටි.....අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනු..

Rs. 600.00

Obama Mahathage Sthri Prashnaya - ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය

Obama Mahathage Sthri Prashnaya - ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය

මෙම කෙටි කතා සමුච්චය තුළ සිරිමල් විසින් නිරූපණය කරනු ලබන්නේ , ලිංගිකත්වය නම් වූ වංකගිරියෙහි අතරමංව ,..

Rs. 480.00

Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව

Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව

1987-90 යුගයේ ලංකික සමාජය වෙළාගත් භීෂණයේ සිදුවීම් අළලා සම්පාදනය කළ සත්‍ය කතා ඉන්දියානු බැංකුවට බෝම්බ..

Rs. 350.00

Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා

Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා

සිංහල භාෂාවට පරිවර්තනය වූ ප්‍රථම හා එකම කියුබානු කෙටිකතා එකතුව. අප නිවසට ඉදිරිපසින් වූ නිවසක මහලු යු..

Rs. 300.00

Noki Katha - නොකී කතා

Noki Katha - නොකී කතා

‘ලක්මිණ’ පුවත්පතේ 1990 නොවැම්බර් 03 වැනි දා පළ වූ මගේ නිර්මාණයක් වෙනුවෙන් අපූර්ව චිත්‍ර සටහනක් එක් ව..

Rs. 650.00