• Dharani - ධරණි

'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උසේ. ඒත් එතනින් එහා ටික කැඩිලා. . සුන් බුන් වෙලා. මෙහෙ ඉන්න මිනිස්සු - අපි වුණත් ඒ වගේ. පිටින් ඉන්නවා සද්දන්තයෝ වගේ. ඒත් ඇතුළ සුන්බුන් වෙලා. '' ( පිටුව 114)


'' තමුන් පත්තරේට ලියන්නෙත් ඔය වගේ වෙන්නැති. එක පැත්තකින් විතරක් කතාව අහලා , ඊට පස්සේ හොටු පෙරෙන්න ඇඩෙන්න ලියනවා ඇති..'' (පිටුව 133)



'' මං දන්නවා බැඳීම් කියන්නේ පොරොන්දු නෙමෙයි කියලා. ඒක ඊට වඩා වැඩි මොකක් හරි දෙයක්. ''( පිටුව 141)

Kanchana Priyakantha 17/01/2019

ධරණි දරා සිටින්නීය. උසුලා සිටින්නීය. වරෙක මැසිවිලි නගමින් ද වරෙක මැසිවිලි නොනගමින් ඇය ජීවිතය දරා සිටියි.

ප්‍රේමය ඇති තැනක යුද්ධයකට ඉඩක් නැත. යුද්ධයකදී ප්‍රේමය තහනම්වන අවස්ථා බහුලව දකින්නට සිදුවන්නේ ඒ හේතුව මතිනි. ප්‍රේමය සහ බැඳීම් කෙරෙහි ආසක්ත වන්නෙකුට යුද වැදිය නොහැකිය. ධරණි යනු ප්‍රේමයයි.

ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියවී ඇති කත්‍යානා අමරසිංහ විසින් රචිත ධරණී කෘතියේ ප්‍රධාන චරිතය වන දුලන්‍යා හරහා කතාව දිග හැරේ. සිය ජීවිතයට වඩාත් බලපෑ චරිත පිළිබඳ දුලන්‍යා වෙන් වෙන් වශයෙන් පවසයි. ලොකු අය්යා, රවීන්ද්‍රන්, වර්ණික , රන්ජිත් අය්යා ජයකාන්තන් යන චරිත ඇගේ ජීවිතයට අඩු වැඩි වශයෙන් බලපෑ ආකාරය තුළින් ගලා යන කතාව සාපේක්ෂ වශයෙන් ජයකාන්තන්ටද රාජිනිටද වඩා වැඩි ඉඩක් වෙන කරන අතර රාජිනිට වඩාත් වැඩි ඉඩක් හිමි කරදෙයි. අවසාන අවකාශය සිහින දකින්නිය ලෙස තමාට ලබා දෙන දුලන්‍යාගේ චරිතය දේශපාලනය , ප්‍රේමය, සමාජය යනාදී විවධ මානයන් ඔස්සේ වරක් සමාජය දෙස වඩාත් පුළුල් දෘෂ්ටියකින් බැලීමට පාඨකයා පොළඹවයි.

දුලන්‍යාහුදකලා චරිතයක් ලෙස සිය පවුල් පරිසරය තුළ හැදී වැඩෙන්නේ ගතානුගතික ආකල්ප වලින් යුතු මවක්ද , සොයුරියක් ද සමගිනි. තමාගේ සිතැඟි සිත්සේ බෙදා හදා ගැනීමට ඇය තෝරා ගන්නේ බෝනික්කෙකි. බෝනික්කා සමග හුදකලා සංවාදයේ යෙදෙන දැරිය අපට මතක් කරදෙන්නේ කතා කරන්නන් බහුල ඇහුම්කන් දෙන්නන් විරල ඛේදනීය තත්ත්වයකි. ලොකු අය්යාගේ චරිතය දුලන්‍යාට වැදගත් වන්නේ මෙහිදීය. නිහඬ චරිතයක් වන ඔහු සිය බාල සොයුරියට නිහඬ අනුබලයක් දෙමින් ඇගේ අනන්‍යතාවය රැක ගැනීමට උපකාර වෙයි. සිය අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමේ අරගලයේ ආරම්භය වන්නේ කතා නායිකාව සිය අදහස් නිර්ලෝභීව පැවසීම සඳහා ලී බෝනික්කාව තෝරා ගැනීමත් සමගය. ඇගේ මව දියණිය වැඩිවියට පත්වනවාත් සමගම ලී බෝනික්කාව පුළුස්සා දමයි. ඇගේ අහිංසක අරගලය මර්දනය වූ ආකාරයටම අනෙක් සියලුම අරගලයන් ප්‍රචණ්ඩකාරීව මර්ධනය කර දමනා ආකාරය කතුවරිය සියුම් ලෙස පාඨකයා වෙත ගෙන ඒම ප්‍රශංසාත්මකය.
JVP කැරැල්ලට සැක පිට අත්අඩංගුවට ගෙන දරුණු ලෙස වද හිංසාවට බඳුන් වන ඇගේ ලොකු අය්යා අවසානයේ මානසිකව හෙම්බත්ව සිය දිවි නසා ගන්නා අතර ඈ ප්‍රේම කළ සිය සොයුරියගේ පෙම්වතා වන රවීන්ද්‍රන්ද ටයර් සෑයක දැවී මිය යන්නේ ඇගේ මව විසින් බලහත්කාරයෙන් සිය ආදරණීය ලී බෝනික්කා ගින්නෙන් පුළුස්සා දැමූ ආකාරයට. දේශපාලන අරගලයන් තුළ බැඳීම් බිදී යන්නේ ජාතීන් අතර පමණක් නොව එකම ජාතියෙන් මිනිසුන් අතර පවා එසේ සිදුවන බව පවුලේ හිතවතුන්ව සිටි වර්ණිකගේ මව සහ පියා ඔවුන් සමග අමනාප වීමෙන් සංඛේතවත් වේ. වර්ණිකගේ පියාගේ සොයුරා කැරලි කරුවන් අතින් මිය යෑම තුළ ඔවුන්ගේ සිත් තුළ කතා නායිකාවගේ පවුල පිළිබඳව ඇති වන අප්‍රසාදය ඊට හේතුවේ.

මෙවැනි අකල් මරණයන් පවුල් සාමාජිකයන්ට අහිතකරව බලපානා ආකාරය කතා නායිකාවගේ දෙමව්පියන් තුළ සිදුවන මානසික පරිවර්තනයන් හා අනෙකුත් සාමාජිකයන් තුළ සිදුවන වෙනස් වීම් හරහාද රවීන්ද්‍රන්ගේ පවුලේ සාමජිකයන්ගේ විපර්යාසයන් හරහා ද පාඨකයාට සන්නිවේදනය වේ. අරගලයන් හමුවේ සමාජීය වශයෙන් ඇති වන පීඩාව කවර ජාතියකට වුවද සමාන බව පාඨකයා වෙත ඉතාම සංයමයකින් යුතුව කතුවරිය සිය කෘතිය හරහා කියාපාන්නීය .

රන්ජිත් අය්යා හරහා කතා නායිකාව නිරතව සිටිනා සමාජයීය අරගලය දිග හැරේ. ගුරු වෘත්තියේ නිරතව සිටින කතා නායිකාව සිය වෘත්තීය ජීවිතය තුළ මුණ ගැසෙනා සාම්ප්‍රදායික පෙම්වතා මෙන්ම කාර්ය මණ්ඩලයෙන් දුරස්ව පුවත්පත් මාධ්‍යවේදිනියක් වන්නේ රන්ජිත් අය්යා හරහාය. එම මාධ්‍ය භූමිකාව තුළදී හමුවන ගතානුගතික සහ පටු ආකල්පවලින් හෙබි කාර්ය මණ්ඩලයක් තුළ නැවතත් පීඩාවට පත්වන ඇගේ අරගලය අවසාන වන්නේ පහත් කුමන්ත්‍රණයක ප්‍රතිපල වශයෙනි. ඊට එරෙහිව නැගී සිටිනවා වෙනුවට නිහඬ වන රන්ජිත් අය්යාද පවතින සමාජය තුළම ගොදුරක් බවට පත්වීම ඛේදයකි. අරගලයට උරදිය යුත්තන් නිහඬ වන විට අරගලයන් පරාජය වේ.

ජයකාන්තන් රවීන්ද්‍රන්ගේ මතකය රැගෙන කතා නායිකාව අබියසට පැමිණෙන විට ඇය ඔහු කෙරෙහි දැඩි ප්‍රේමයකින් බැඳෙන්නීය. ඔහුගේ ප්‍රේමවන්තීය වන එල් ටී ටී ඊ සෙබළියක් වන රාජිනි සමග වූ දැඩි ප්‍රේමය අහිමි වී හේතු කොට ගෙන ජයකාන්තන් මානසිකව හෙම්බත්ව සිටින්නේය. රාජිනි කෙරෙහි ඔහු තුළ පවත්නා දැඩි ප්‍රේමය හේතු කොට ගෙන ඇය සමග ජීවත් වීම වෙනුවෙන් ඔහු කරනා අරගලය අවසානයේ පරාජයට පත්වන්නේ රාජිනි අරගලය වෙනුවෙන් සිය ප්‍රේමය කැප කිරීමට ගන්නා දැඩි තීරණය හේතුකොටගෙනය. උතුරු නැගෙනහිර ජනතාවට යුද්ධය නිසා අත්වුණු අවාසනාවන්ත ඉරණම ඉතා සංවේදී ලෙස පාඨකයා වෙත ගෙන ඒමට සමත් වී ඇත. දේශපාලන පටු වාසි තකා ඇති වූ යුද්ධයක් තුළ අසාධාරණයට ලක්වන සාමාන්‍ය ජනතාවට අහිමි වන සාමාන්‍ය ජීවිතය පිළිසකර කිරීමට ප්‍රේමය පවා අසමත් වන්නේ ඉන් ඇති වුණු කම්පනය සහ අහිමි වීම් ඔවුන්ට හිමි වූ දේට වඩා වැඩි හෙයිනි. මාතෘ භූමියක් අහිමිව සරණාගතයන් ලෙස රට හැර ගොස් අනන්ත දුක් පීඩා විඳිමින් ජීවිතය රැක ගැනීමට ඔවුන්ගේ එදිනෙදා අරගලය බොහෝ දෙනෙකු තේරුම් නොගත් ඛේදවාචකයකි. බොහෝ දෙනෙකු නොදැක්කා සේ මග හැර යන යුද්ධයේ අවලස්සන ම කොටස ජයකාන්තන්ගේ චරිතය හරහා පාඨකයා වෙත ගෙන එන කතුවරිය යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ හිස් වී ගිය ඇතුලාන්තය දෙස සානුකම්පිතව බැලීමට පාඨකයා පොළඹවයි.

'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උසේ. ඒත් එතනින් එහා ටික කැඩිලා. . සුන් බුන් වෙලා. මෙහෙ ඉන්න මිනිස්සු - අපි වුණත් ඒ වගේ. පිටින් ඉන්නවා සද්දන්තයෝ වගේ. ඒත් ඇතුළ සුන්බුන් වෙලා. '' ( පිටුව 114)

අනෙත් සියලුම අරගලයන් මෙන්ම රාජිනි ඇතුළු පිරිස විමුක්තිය පිණිස වූ අරගලය පරාජයට පත් වන්නේ සියල්ලම අහිමි කරගනිමිනි. රාජිනි විසින් රචිත කෙටි කතා කිහිපයක් කියවීමට ලැබීමත් සමගම ජයකාන්තන්ට පමණක් නොව රාජිනිටද කතාවක් ඇති බව වටහා ගන්නා කතා නායිකාව ඔවුන් දෙදෙනාට මැදිවී මානසික අරගලයක යෙදෙන්නීය. ලී බෝනික්කා වෙනුවට තමන්ගේ කතාව කීමට රාජිනිව තෝරා ගන්නා කතා නායිකාව අතීරණයක හිරවී ජයකාන්තන් වෙනුවෙන් සිය හෘද සාක්ෂිය සමග කරනා අරගලය තුළ යළිත් පීඩාවට පත්වන්නීය.

'' තමුන් පත්තරේට ලියන්නෙත් ඔය වගේ වෙන්නැති. එක පැත්තකින් විතරක් කතාව අහලා , ඊට පස්සේ හොටු පෙරෙන්න ඇඩෙන්න ලියනවා ඇති..'' (පිටුව 133)

රාජිනි සමග ෆැන්ටසිමය ලොවක් තුළ කරනා සංවාදයන් හරහා කතුවරිය සියුම් ලෙස මාධ්‍යකරණයේ යෙදෙන්නන් සමහරකගේ දුර්වලතා උපහාසයට ලක් කරයි.

මිනිසුන් අතර ආදරය, මිත්‍රත්වය යනාදී බැඳීම් ඇති වීමට ආගම හෝ ජාතිය බාධාවක් නොවේ. ප්‍රේමය සහ බැඳීම් කෙරෙහි වැදගත් වන එකම දෙය නම් විශ්වාසය නිවැරදි අවබෝධය සහ ගෞරවයම පමණකි.

'' මං දන්නවා බැඳීම් කියන්නේ පොරොන්දු නෙමෙයි කියලා. ඒක ඊට වඩා වැඩි මොකක් හරි දෙයක්. ''( පිටුව 141)

අවසානයේදී තමා දැඩිව ප්‍රේම කරනා මිනිසා වෙනුවට වර්ණිකව තෝරා ගැනීමට කතා නායිකාව පෙළඹෙන්නේ තමා මත පවුල හා සමාජය වෙතින් පැටවෙන අසාධාරණ සම්මුතීන්වලට පරාජිතව එකඟ වීමට සිදුවන හෙයිනි. අවසානයේ දුලන්‍යාගේ ස්වාධීනත්වය වෙනුවෙන් වූ අවසාන අරගලයද අසාර්ථක වන්නේ සමාජයේ මති මතාන්තරවලට එරෙහිව දිගින් දිගටම කැරලි ගැසීමට තරම් ඇය සන්නද්ධ නොවන හෙයිනි. ඒ වෙනුවට ඇය අසාමාන්‍ය ලෙස දරාගන්නීය. එබැවින්ම ධරණී නම් වන්නීය.


- කාංචනා ප්‍රියකාන්ත -

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wanna Dasi - වණ්ණ දාසි

Wanna Dasi - වණ්ණ දාසි

2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මහත්මයාණනි, .......'' එක් දෙයක් ඔබට කීමට ඉ..

Rs. 1,000.00

Nili Wassa - නිලි වැස්ස

Nili Wassa - නිලි වැස්ස

‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අ..

Rs. 1,200.00

Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය

Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය

පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..

Rs. 1,100.00

Baana Kusum - බාණ කුසුම්

Baana Kusum - බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී  පුතිමාවක් හරහා සිය අනන්..

Rs. 1,000.00