• Jerusalem Doowaruni - ජෙරුසලෙම් දූවරුනි

බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ-අපට අබිමුඛ කරන්නෙ කොහොමද කියන පරිකල්පනීය ප්රබන්දමය අද්දැකීම, මුනිවරී අධ්යාත්මයක් වරනඟන තරූ, ඇයට ම අනන්ය සුගම සිලිටි භාෂාමය ලාලිත්ය හරහා කරන ව්යුහමය ගොඩනැංවීම තමයි 'ජෙරුසලෙම් දූවරුනි'.

'ක්රිස්තියානි ප්රඥාමාර්ගික සාහිත්යය' තුළ තරු ලකුණක් බඳු තරූ 'දේශදෝහියාගේ නිර්මල හෘදය' ඔස්සේ නවකතාකරණයේ ස්වකීය අනන්යතාව සලකුණු කරලමින්, සහෘද මෙන්ම විචාරක අවධානය තමන් වෙත නතු කරගත්තා. 'ජෙරුසලෙම් දූවරුනි' ඒ ගමන් මඟෙහි ඇය තබන තවත් ඉගැඹුරු පිය සටහනක්.

මංජුල වෙඩිවර්ධන

Kanchana Priyakantha 18/10/2023

''ජෙරුසලෙමේ දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න.''

බයිබලය - ශුද්ධවර ලූක් 23:28


සමහර දේවල් අසීමිතව උත්කර්ෂයට නැගෙනවා. එහෙම උත්කර්ෂයට නැගෙද්දී ඒ දේවල්වල සැබෑ පුරුෂාර්ථයන් මගහැරෙන්න නොපෙනී යන්න ලොකු ඉඩක් තියෙනවා. අසීමිතව උත්කර්ෂයට නැගීම නිසා එහෙම විපතට පත්වුණු දේවල් අතරින් ඉස්සරහින්ම තියෙන්නේ ආගම්. උත්කර්ෂයන්ට නැගීම අන්තයකට ගියාම ඕනෑම ආගමක් ඇතුළේ අන්තවාදීන් බිහිවෙනවා. ආගමික සංකල්පයන් තුළ තියෙන ආධ්‍යාත්මික මුහුණුවර ,වගේම දේශපාලනය සහ සමාජ සංස්කෘතියත් ඇස් ඉස්සරහම ඉතාම හොඳට පේන්න තියෙද්දීත් අපට කවදාවත් නොපෙනී යන්න තරම් මේ උත්කර්ෂයන්ට නැගීම් බලවත්. ඕනෑම දෙයක් අවිඥානිකව හෝ සවිඥානිකව උත්කර්ෂයට නැගෙද්දී ඒකෙන් වාසි ප්‍රයෝජන ගන්න පිරිසකුත් ඉන්නවා. හරියට ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් වගේ.

ලෝකය පුරාවට ඉතාම ප්‍රචලිත ආගමක් තමයි කිතුනු දහම. ජේසුස්ව කුරුසියේ ඇණ ගහපු කාරණාව, කිතුනු දහම ගැන කිසිම දැනුමක් තේරුමක් නැති කෙනෙක් වුණත් දන්න දෙයක්. මිනිහෙක්ව පණ පිටින් කුරුසයකට තියලා ඇණ ගහනවා කියන කාරණාවම ඉතාම බරපතල අමානුෂික කාරණාවක් . නිකන් නොවෙයි ඒ කුරුසය කරගහගෙන මිනිස්සුන්ගෙන් ගල් මුල් කකා පාරේ ඇවිදගෙන යන්නත් තියෙනවා. පවතින ක්‍රමයට සිය ක්‍රියාකාරකම් හරහා අභියෝග කරපු අවුරුදු තිස් ගණන්වල හිටිය තමන්ගේ එකම දරුවා එහෙම දඬුවමක් විඳිනවා ඇස් පනාපිටම දකින අම්මා කෙනෙක්ගේ වේදනාව ගැන අපි මීට කලින් නිකන්වත් හිතලා තියෙනවද? ඒ වේදනාව තේරුම් ගන්න අම්මා කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. මනුස්සයෙක් වුණාම ප්‍රමාණවත් . තමන්ගේ දරුවව කුරුසයකට තියලා පණ පිටින් ඇණ ගහද්දි තමන්ගේ දරුවාව ගලවගන්න බැරිව ඒ අම්මා මොන තරම් අඬා වැටෙන්න ඇත්ද ?පසුව දේවත්වයට පත්වීම ඒ චරිතවල වේදනාවට ලැබුණු වන්දියක් කියලා අපිට හිතන්න පුළුවන්ද? ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා වීම තුළවත් මළවුන්ගෙන් නැගිට්ට නිසාවත් ඔහුට සිද්ද වුණු අසාධාරණය සාධාරණයක් වෙනවාද? ඒ දඬුවම මිලේච්ඡ නැත්ද? පවතින ක්‍රමයට අභියෝග කරන්න ජේසු තෝරාගත්තේ අවිහිංසාවාදී විකල්ප පිළිවෙතක්. එහෙම කෙනෙක්ගේ ඒ ජීවිත පරිත්‍යාගය අතිශය දේශපාලනික නොවේද?



එහෙම හිතද්දී බයිබලයේ තියෙන කරුණු ඔක්කොම ඇත්ත කියන තැන ඉඳගෙන හිතුවොත් මිනිස්සු බයිබලය ඇත්තටම කියවාගෙන තියෙනවද කියන ප්‍රශ්නය එනවා. ජේසුස් ජීවත් වුණාය කියන කාලය ගැන සමාජ දේශපාලන කියවීම තියෙන්නේ වර්තමානයට එනකොට තියෙන්නේ කොතනද කියලා හිතද්දී ඇඳුම් පැළඳුම්වල සහ රාජාණ්ඩු පාලන ක්‍රමයේ හැර ඒ කාලයෙයි මේ කාලයෙයි මහා ලොකු වෙනසක් නැහැ කියලා පැහැදිලිව පේන්න ගන්නවා.දේශපාලනය සහ ආගම් අත්අල්ලගෙන ඇවිදින්නේ ආගමික නායකයන් ලෙස හංවඩු ගැහෙන මිනිස්සුන්ව ආයේ ආයෙමත් දේශපාලනිකව අවභාවිතා කරන්න කියලා හිතෙනකොට ඒ ජීවිත පරිත්‍යාගයන් කැපකිරීම්වලින් වැඩක් තියෙනවද කියලත් වෙලාවකට හිතෙනවා.

මට මේ කාරණා ගැන මෙහෙම හිතෙන්නේ ගත්තේ ජෙරුසලෙම් දූවරුනි කියෙව්වට පස්සේ. සාහිත්‍යයේ කාර්යභාරය මෙන්න මේකය කියලා නිශ්චිත එකක් නොවුණත් මිනිහෙක්ට පොතක් කියෙව්වට පස්සේ ජීවිත කාලය පුරාවට දැක්ක දේවල් දිහා වෙනස් විදිහට බලන්න පුළුවන් වෙනවා නම් පෙනිච්ච දේවල් දකින්න පුළුවන් කරනවා නම් මගේ නිර්ණායක ඇතුළේ ඒ කෘතිය හොඳ කෘතියක් වෙනවා. තමන්ට පැවරුණු කාර්යභාරය ඉෂ්ට කරන ලද කෘතියක් බවට පත්වෙනවා. හොඳ සාහිත්‍ය කෘතියකට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන්. හිතන්න පොළඹවන්න පුළුවන්. ඒ කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න පුළුවන්.

''ජෙරුසලෙමේ දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න.''

බයිබලය - ශුද්ධවර ලූක් 23:28


ජෙරුසලෙම් දූවරුනි නවකතාවේ කතා නායිකාව රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන්නියක්. කිවිඳියක් .කතාව ඉදිරිපත් කරන්නේ කතානායිකාවගේ දෘෂ්ටි කෝණයෙන්. ඇය උතුරේදීත් දකුණේදීත් තමන්ට මුණගැහෙන ගෑනුන්ගේ කතා එක්කල තමුන්ගේ ජීවිතයේ ඉන්න ගෑනුන්ගේ කතාවත් ඉතාම අපූරුවට ගොඩනගනවා. උතුරේ ගැහැනුන්ගේ අහිමි වීම් සහ දකුණේ ගැහැණුන්ගේ අහිමිවීම්වල ඛේදවාචකය දේශපාලනිකව මෙන්ම පුද්ගලානුබද්ධව විග්‍රහ කරනවා. පවතින දේශපාලන සහ සමාජ ක්‍රමය තුළ ගැහැනිය මෙන්ම පිරිමියා සමාන වින්දිතයන් වන සැටිත් ගැහැනිය ගැහැනියක් වීම නිසා නැවතවරක් පුරුෂමූලික සමාජය තුළ වින්දිතයන් බවට පත්වන ආකාරයත් ඇය සියුම්ව ගෙනහැර පානවා . යුද්ධය ජාති ආගම් භේදයකින් තොරව සාමාන්‍ය වැසියාට අහිමි කරන දේ ගැන සමබර කියවීමක් මේ කෘතිය හරහා කෙරෙනවා. ඒ එක්කම ඇය ආගම හා බැඳුණු දේශපාලනය ඉතාම සියුම්ව පාඨකයාට ගෙන හැර පානවා.

''පිටුවහල් , සංක්‍රමණික ජීවිත මටද ආගන්තුක වූවක් නොවේ. තමන්ගේ දේශය තුළම පිටුවහල් වූ මිනිසුන් කොතෙකුත් මට හමු වී ඇත. තමන්ගේ නිජබිම තුළම සරණාගත වූ මිනිසුන්ගේ ශෝකී සන්තාන ළතැවිලි මා කොතෙකුත් අසා ඇත. මිසරයට ආගන්තුක වූ කුඩා ජුදෙව් පවුල එදා කෙලෙස ජීවන අරගලය දරාගන්නට ඇත්ද?'' (පිටුව 37)

''අනේ මන්දා ලොකක්කේ . මාත් රට වටේ ගිහින් ගෑනුන්ගේ දුක් අදෝනා අහන් ඉන්නවා. උපදෙස් දෙනවා. ඒ ගෑනු මට මාරෙට ආදරෙයි. සමහර වෙලාවට ප්‍රශ්න විසඳගත්තා කියලා මට කතා කර කර පින් දෙනවා. එහෙව් මට මේ අපේ අක්කගේ ප්‍රශ්නවලට උත්තර නෑනේ .''

''අනුන්ගේ ප්‍රශ්නවලට අවවාද උපදෙස් දෙන තරම් ලේසි නෑ චුට්ටි තමන්ගෙම ප්‍රශ්නවලට උත්තර හොයන එක. ."

''දැන් ඉතින් අපි මොකද කරන්නේ ලොකක්කේ ?''

''මොනවා කරන්නද එන හැටියකට මූණ දෙමු. එක දරුවෙක් හැදුව අපිට තව දරුවෙක් වැඩි නෑ .'' (පිටුව 47)

ගැහැනිය තරම් ශක්තිමත් නිර්මාණයක් ලෝකේ නැහැ.. ලෝකේ පවතින්නේ හිරු කිරණ සහ මව්වරු නිසා. හිරු එළිය නැත්නම් ජීවයක් නැහැ. .අම්මලා කියන්නේ දරුවන් බිහිකරන අයම විතරක් නොවේ. දරුවන් හදාවඩාගන්න ගැහැනු සහ පිරිමි දෙගොල්ලොම.. දරුවන් කෙරෙහි දයාර්ද ගැහැනු පිරිමි දරුවෝ රැකගන්නවා. . දරුවන් වෙනුවෙන් සිය ජීවිත කැපකරනවා.. ඒ විදිහට හිරු එළිය එක්ක එකතු වෙලා මේ ගෑනුයි පිරිමියි ලෝකය පවත්වාගන්නවා.


තරංගනී රෙසිකා මේ පණිවිඩය තමන්ගේ නිර්මාණය හරහා පාඨකයාට ගෙනියන්න භාවිතා කරන්නේ හරිම මටසිලුටු සුමට භාෂාවක්. ඒ භාෂාව පාඨකයාට මොකක්දෝ සනීපයක් ගේනවා. කතාව කියන්න භාවිතා කරන තානය (tone) සංයමයෙන් යුතු වීම නිසාම ඉතාම බැරෑරුම් කාරණා පවා සන්සුන්ව ග්‍රහණය කරගන්න පාඨකයාට ඉඩ හදනවා. ඇගේ භාෂාත්මක යෙදුම් සංකල්ප රූප මවාගැනීම පාඨකයාට පහසුකරලා දෙනවා. එසේම ඇය පරිච්ඡේද ඇතුළේ කවි තැනින් තැන විසිරුවලා පාඨකයාට ආනන්දනීය අත්දැකීමක් ලබාදෙනවා. මුළු කතාව පුරාම ධෛර්යවන්ත ගැහැනුන්ගේ වීරිය පාරමිතාව විස්තර කෙරෙනගමන්ම පිරිමි දිහාත් දයාර්ද ඇහැකින් බලන්න පාඨකයාව පොළඹවන්නේ ෆැන්ටසිමය පිරිමියා වෙනුවට යථාර්තවාදී පිරිමි චරිත පාඨකයාට මුණගස්සන ගමන්.

"වෙන පිරිමියෙකුට ආදරය කරන්න මං දන්නෑ චුට්ටි. මං සේනාධීරට ආදරේ කරන්න ගත්තේ මට අවුරුදු හත , අට කාලේ ඉඳන්. මං එයා ඇර වෙන පිරිමියෙක් ගැන දන්නේ නෑ . දැනගන්න ඕනෙත් නෑ . අනික සේනාධීර වගේ පිරිමියෙකුට ආදරය කළාට පස්සේ ආපහු වෙන මනුස්සයෙක් ගැන හිතන්න බෑ චුට්ටි. ඒ ආදරේ කිසිම හිස් තැනක් තිබුණේ නෑ .'' (පිටුව 101)

සමාජයේ දුබලතා වගේම සමාජයේ තියෙන යහපත් ප්‍රවණතා ගැනත් අගතිගාමීත්වයකින් තොරව මානව දයාව පෙරදැරි කරගෙන බලන්න කතුවරිය නවකතාව හරහා පාඨකයාට ආරාධනා කරන්නේ දයාව පෙරදැරිකරගෙනමයි.


කතුවරිය කතාව පුරාවට යතාර්ථවාදී රීතිය වගේම මායායතාර්ථවාදයත් යොදාගෙන තියෙනවා. මේ රීතින් දෙකම එකට එකතු කරගෙන සාර්ථක නිර්මාණයක් බිහිකරන්න තරංගනී රෙසිකා කතුවරිය ගත්තු වෑයම සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. කියවපු එක අපරාදේ කියලා හිතෙන්නේ නැති පොතක්.

-කාංචනා ප්‍රියකාන්ත -

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Deshadrohiyage Nirmala Hardaya - දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය

Deshadrohiyage Nirmala Hardaya - දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය

2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.උත්පත්ති කථාවේ මෙන් නොව මෙදා සර්පයා වෙලී..

Rs. 400.00