'තවමත් 9-11 ඛේදවාචකය ගැන කථා කරමින් සිටි එරික් කෑම කා අවසන් කරත්ම සිය වොලට්ටුව ඇද එයින් ඇමරිකන් ඩොලර් විස්සක නෝට්ටුවක් ගෙන එය හරස් අතට දෙකට නවා අනතුරුව යළි එහි කොන් ත්රිකෝණාකාරයට නවමින් ගුවන් යානයක හැඩය මැව්වේය.
"නමයයි එකොළහයි කීයද?" ඔහු ඇසුවේය.
" නිව්යෝර්ක් වල බිල්ඩිම කඩා වැටුණෙත් නමයයි එකොළහයි දවසේ. දන්නවනේ. නමයයි එකොළහයි විස්සයි. මේ විස්සේ කොළේ. මං මේක එයර්ප්ලේන් එකක් විදියට නැව්වා. දන්නවනේ එයාර් ප්ලේන් දෙකක් ආවා. ඊළඟට පෙන්ටගන් එක මැදටත් තවත් එකක් වැටුණා. මෙන්න බලන්න මේ පැත්තේ පෙනෙන දේ"
ඔහු කඩදාසියේ නැමූ එක පැත්තක් පෙන්වූ විට එහි කොළ හැඩයන් පෙන්වූයේ දිගටි ගොඩනැගිල්ලක් මැද දුම් නගන සේය.
"මේ තමයි පෙන්ටගන් එක. මේ මැද ගිනි ගන්නවා." ඔහු දෙදෙනාටම පෙන්වීය.
"දැන් අනෙක් පැත්ත හරවලා බලන්න. මේ තියෙන්නේ ට්වින් ටවර්ස් ගොඩනැගිලි දෙක. මේ මැද ඉහළින් බලන්න. ගොඩනැගිලි දෙකම ගිනිගන්නවා පේනවා. එකක් තවම උඩ ගිනිගන්නවා අනිත් එක දැනටමත් වැඩියෙන් ගිනි අරන්. කලින් ප්ලේන් එක වැටිච්ච තැන"
" හරි පුදුමයි නේද?" නිලන්ති ඇසුවාය.
"මේ සේරම විශ්වයේ සටහන් වෙලා තියනවා වගේ කල් ඇතුවම"