පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු
දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අපහාසවලින්
පලා යනවා වෙනුවට ජීවිතයේ සුන්දරත්වය දකින්නට හා අපූර්වත්වය විඳින්නට දරන
උත්සාහයක් ‘රෝසමාලී’ නවකතාව තුළින් විවරණය වේ. ඇගේ දහහත් වන වියේ ඇය සිය
ළමාවිය හා යොවුන්විය ගැන පවසන මේ කතාව අව්‍යාජ ය; අපූර්ව ය. ඇයට ජීවිතයේ
හමුවන චරිත හා ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්ථය කිසි විටෙකත් අමතක කළ නොහැකිය.
යොවුන් ආලය, භීෂණය, මායාව හා යථාර්ථය, තවමත් අවසාන නැති පාසල් විය
ගැන ජීවිතය විනිවිදිමින් ඈ නිරාවරණය කරන්නේ අපේම ලෝකයයි. දුක හා පීඩාව
මැදින් උපේක්ෂා සහගතව ජීවිතය රස බැලීමට උත්සාහ දරන අපේම ජීවිත කතාවයි.
මෙය, 2010 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත අවසන් පොත් 12න් එකකි.
---------------------
”තරුණ වයස කියන්නෙ කරදර කාලයක්... කවුරුවත් තනියම ඉන්න ඉඩ අරින්නෙ නැහැ.
තනියම ජීවත් වෙනව නම් හුඟාක් ලොකු ධෛර්යකුයි, තද හිතකුයි තියෙන්න ඕනැ.”
සිසිලියා නැන්දා අපට කිරි කෝප්ප දෙකක් සාදා දී සියල්ල අමතක කර නිදා ගන්න
යැයි පවසමින් අප ව කාමරයට යැව්වා ය. අම්මාත් මමත් සිටියේ නිදාගන්නට තරම්
හොඳ සිහියක නොවේ.
”මම ලංකාවට එද්දි හිතුවේ රස්සාවක් කරල දුවත් එක්ක ගෙයක් හදාගෙන ජීවත් වෙනව කියල නැන්දෙ.”
”ඒත් ඔයා හිතුවෙ නැහැ ඔයා මොන දේ කළත් ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙන්නෙ මේ රටේ මිනිස්සුත් එක්ක කියල.” සිසිලියා නැන්දා කීවා ය.
”ඒත් මම හිටපු රටේ කසාද නොබැඳ දරුවෙක් එක්ක හිටියයි කියල පිරිමියෙක් නැතුව ගෙදරක ජීවත් වුණයි කියල කවුරුත් ගල් ගහන්නෙ නැහැ නැන්දෙ.”
”මේක ඔයා දන්න නීතියක් කියල දෙයක් තියෙන වෙනත් රටක් නෙමෙයි.”
එදා සිසිලියා නැන්දාත් අම්මාත් කතා කළ දේ මට හරිහැටි වැටහුණේ නැත. හවස් වන
විට අපි මුහුණ කට සෝදා කෑම කා සන්සුන් වූ පසු සිසිලියා නැන්දා ඇගේ විසඳුම
ඉදිරිපත් කළා ය.
”ඔයාල දෙන්න කොහේවත් යන්න ඕනැ නැහැ. ආයෙත් කුලියට ඉන්න ගෙවල් හොයන්න ඕනැත් නැහැ. අපේ ගෙදර හැමදාමත් ඉන්න.”
”මම හිතන්නෙ නැහැ අලූතින් තැනක මම රස්සාවක් හොයා ගත්ත වුණත් වැඩකරන තැන
පිරිමි මට මගේ පාඩුවෙ ඉන්න ඉඩ දෙයි කියල. තවත් ටික දවසකින් තව කවුරු හරි
මගේ පස්සෙන් එයි. කසාද නොබැඳ මට යහතින් ඉන්න ලැබෙන්නෙ නැහැ. මේ ගෙදරටත්
පිරිමි යන්න එන්න ගත්තහම නැන්දටත් සිද්ද වෙයි මාව ගෙදරින් එළව ගන්න. ඊට වඩා
හොඳයි මම දුව ව නැන්දාට බාර දීලා ආයෙත් රට යන එක. මම ඔයාලට මුදලක් හැම
මාසෙක ම එවන්නම් රෝසමාලී ගේ වියදමට.”
”අපිට සල්ලි එවන්න එපා... මමත්
මහත්තයත් ජීවත්වන තුරු රෝසමාලී අපි ළඟ ඉඳිවි... අපි මැරෙන වයසට ආවහම
රෝසමාලී රස්සාවක් කරගෙන එයාව බලාගන්න වයසට ඇවිත් තියෙයි. ඔයා කරදරයක් නැතුව
ඉන්න බලන්න...”
මගේ අනාගතය තීරණය වුණේ ඒ ආකාරයෙනි.
Rosamalee - රෝසමාලි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- - Award Winning and Nominated Books - සම්මානිත සහ නිර්දේශිත පොත්
- - Swarna Pusthaka Award Nominated Books 2012 - 2012 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556710151
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60